දැක්ම

සමාජ වැඩ අධ්‍යාපනයේ පුහුණු කටයුතුවල හා පර්යේෂණවල දේශීය හා ජාත්‍යන්තර ලෙස විශිෂ්ඨ මධ්‍යස්ථානයක් බවට පත්වීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සහ සමාජ සුබසාධනය ස‍ඳහා සියලුම මට්ටම්වලදී අවශ්‍ය සමාජ වැඩ පිළිබඳව කුසලතා පූර්ණ මිනිස්බල අවශ්‍යතා සපුරා ගැනීම සමාජ වැඩ පිළිබඳව අවශ්‍ය දැනුම හා තාක්ෂණයන් යොදා ගනිමින් සමාජයට සුවිශේෂි සේවයක් සැපයීම.

ආයතනයේ ඉතිහාසය

ප්‍රමුඛ පෙළේ පුරවැසියන් කිහිප දෙනෙකු, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ රජයේ දෙපාර්තමේන්තු කිහිපයක නියෝජිතයන් එක්ව දැරූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සමාජ වැඩ අධ්‍යාපනය පිළිබඳ මෙම පුරෝගාමී ආයතනය ලංකා සමාජ සේවා ආයතනය ලෙස ආරම්භය 1952 වසරේදී සුළුවෙන් ආරම්භ විය. පසුව එය ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය ලෙස නැවත නම් කරනු ලැබූ අතර 1964 වසරේදී සමාජ සේවා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන ලදී.

ස්වාධීන ආයතනයක තත්ත්වයට ආයතනය උසස් කළ යුතු බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1987 වසරේදී ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයට දැනුම් දෙන ලදී. ඒ අනුව, සමාජ සේවා පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා දෙනු වස් ජාතික සමාජ සංවර්ධන ආයතනය ස්ථාපිත කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමතය 1989 වසරේදී හිමි වූ අතර 1992 අංක 41 දරන ජාතික සමාජ සංවර්ධන ආයතනය පනත මගින් සමාජ සේවා විද්‍යාලය උත්ශ්‍රේණි කොට ජාතික සමාජ සංවර්ධන ආයතනය ලෙස ස්ථාපිත කරන ලදී.

සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ආරම්භ කිරීම පිණිස දේශීය විශ්වවිද්‍යාලයක් සමග ඒකාබද්ධව කටයුතු කළ යුතු බවට වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යෝජනාවෙන් අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලය සහ ජාතික සමාජ සංවර්ධන ආයතනය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

2005 වසරේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, 2005 ජූනි 01 දින අංක 1395/15දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද නියෝගයක් මගින්, සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පිරිනැමීම පිණිස, ජාතික සමාජ සංවර්ධන ආයතනය උපාධි පිරිනමන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. සමාජ වැඩ පිළිබඳ උපාධි පාඨමාලාව 2005 දෙසැම්බර් මස ආරම්භ විය.

සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අතර ඒ සඳහා අනුමැතිය නියමානුකූල කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 2005 වසරේ නිකුත් කළ නියෝගය පරිච්ඡින්න කරන ලද අතර 2008 ජූලි 07 දිනැති අංක 1557/7 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 (අ) වගන්තිය යටතේ සාදන ලද නියෝගය මගින් සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති සහ ශාස්ත්‍රවේදී උපාධිය පිරිනැමීම දක්වා උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනය උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ වූ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන, සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යාංශ‍ය කැනඩාවේ කිංස්ටන් හි ක්වීන්ස් විශ්වවිද්‍යාලය සමග සහායෝගිතාවයෙන් ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලාවක් ලෙස කැනඩා ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායනයේ අනුග්‍රාහකත්වය යටතේ ආරම්භ විය. මෙම කඩඉම් සිදුවීමෙන් පසුව, සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන ආරම්භ කිරීම පිණිස කැනඩාවේ, කිංස්ටන්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සාකච්ඡා කරනු පිණිස වූ මූලික රැස්වීම ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් 2008 සැප්තැම්බර් මස පවත්වන ලදී. මෙම යෝජනාව පිළිබඳව පැවැති සාකච්ඡා කිහිපයකින් අනතුරුව, පාලක මණ්ඩලය විසින්, පළමුව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ මානව සම්පත් සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලස්මක් නිර්මාණය කරනු පිණිස සැලසුම් කමිටුවක් පත් කරන ලදී.

ආරම්භයේ සිටම සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබූ අතර තම මව් භාෂාවෙන් මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමේ අදහසින් සමාජ වැඩ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, උසස් ඩිප්ලෝමා පාඨමාලාව සහ ශාස්ත්‍රපති උපාධිය සිංහල, දෙමළ භා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම 2013 වසරේදී ආරම්භ කරන ලදී.

පුවත් සහ සිදුවීම්