ලාංකේය ජන සමාජය තුළ දිළිදුකම අවම කිරීම සදහා නව ව්‍යාපෘතියක්

ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ  සහ ප‍්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය ලාංකේය ජන සමාජය තුළ දිළිදුුකම අවම කිරීම සදහා ‘‘සුහුරු ගම්මාන’’ නැමති නව නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ව්‍යාපෘතියේ ආරම්භක අදියර යටතේ අම්පාර, කිලිනොච්චිය, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් තෝරා ගත් ග‍්‍රාමීය දිළිදු ගම්මාන හයක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබේ. සමාජ වැඩ විෂය තුළ විද්‍යාර්ථයින්ගේ පරිචමය කුසලතාවය සංවර්ධනය කිරීම සදහා ආරම්භක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන සුහුරු ගම්මාන නව නියමු ව්‍යාපෘතිය ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරයි. මේ ස`දහා සමාජ වැඩ ශාස්ත‍්‍රවේදී හා ශාස්ත‍්‍රපති උපාධිය හදාරණ විද්‍යාර්ථයින්ගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘතියේ නියමු පර්යේෂණය කිරීමට අපේක්‍ෂා කෙරේ. විද්‍යාත්මක පර්යේෂණ දත්ත මත පදනම්ව ලාංකේය ජනසමාජය තුළ දිළිදුකම අවම කිරීම සදහා අවශ්‍ය විධිමත් ක‍්‍රමවේදයක් සකස් කිරීම හා එම ක‍්‍රමවේදය මත පදනම්ව යාන්ත‍්‍රණක් සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ වේ. එම ක‍්‍රමවේදීය පසුබිම හා යාන්ත‍්‍රණය සමස්ත ලාංකේය සමාජය තුළ දිළිදු ප‍්‍රජාව ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඉදිරි කාලපරිච්ඡේදයේදී බලාපොරොත්තු වන අතර මේ සදහා ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප‍්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය අනුග‍්‍රාහකත්වය ලබා දීම සිදුවේ. ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ හා ප‍්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා හා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ මුලිකත්වයෙන් ව්‍යාපෘතියේ කාර්යභාරය සකස් කිරීම සිදුවේ. ව්‍යාපෘතියට සමගාමීව ක්‍ෂේත්‍ර නිලධාරීන්, පිඨ අධීක්‍ෂකවරු, සම්බන්ධීකාරකවරු හා ක්‍ෂේත්‍ර පර්යේෂකයන් පුහුණු කිරීමේ නේවාසික වැඩමුළුවක් 2025 ඔක්තෝබර් මස 07 සහ 08 දෙදින ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතාගේ මගපෙන්වීම හා ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම නව පර්යේෂණ ව්‍යාපෘතිය, විද්‍යාත්මක දැනුම මත පදනම්ව සමාජ පරිවර්තනයක් ඇතිකිරීමේ අරමුණෙන් සිදු කරන අතර එය සමාජ වැඩ ක්ෂේත‍්‍රයේ නව මංමාවත් විවර කිරීමට අවශ්‍ය කාර්යභාරය සකස් කරයි.

Leave A Reply

Your email address will not be published. Required fields are marked *